සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රි ලංකා කණ්ඩායම අතර පැවති විස්සයි 20 තරඟාවලිය, තරඟ 2-1 ක් ලෙස ජය ගැනීමට සත්කාරක ශ්‍රි ලංකා කණ්ඩායම මීට සුලු මොහොතකට පෙර සමත්විය.
ඒ අද(29) පැවති තෙවැනි විස්සයි 20 තරඟය ශ්‍රි ලංකා කණ්ඩායම කඩුලු 7කින් ජයගැනීමත් සමගයි.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් සංචාරක ඉන්දීය කණ්ඩායමට නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 8ක් දැවී රස්කල හැකි වූයේ ලකුණු 81ක් පමණයි.
එහිදී කුල්දීප් යාදව් නොදැවී ලකුණු 23ක් රැස්කළ අතර බුවනේශ්වර් කුමාර් ලකුණු 16ක් රැස් කිරීමට සමත්විය.
පන්දු යැවීමේදී වනිඳු හසරංග ලකුණු 9කට කඩුලු 4ක් දවාගත් අතර නායක දසුන් ශානක කඩුලු 2ක් දවා ගැනීමට සමත් විය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කල ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය සඳහා අවශ්‍ය ලකුණු 82 කඩුලු 3ක් පමණක් දැවී ලබා ගැනීමට සමත් විය.
මෙය ඉන්දියාව පරාජය කර ශ්‍රී ලංකාව ලබා ගත් පළමු විස්සයි20 තරඟාවලි ජය ලෙස ඉතිහාසයට එක් වෙනු ඇත.
මෙම තරඟයේදී වනිදු හසරංග ලකුණු 9කට කඩුලු 4ක් දවා ගනිමින් විස්සයි 20 ජාත්‍යන්තර තරගයක වාර්තා කළ සිය හොදම පන්දු යැවීම සනිටුහන් කළා.
සිය උපන් දිනයේදී පන්දු යවන්නෙකු ජාත්‍යන්තර විස්සයි 20 තරගයක වාර්තා කළ හොදම පන්දු යැවීම ද එය වීම විශේෂත්වයක්.
අවසන් තරඟයේ හා තරගාවලියේ වීරයා ලෙස වනිදු හසරංග සම්මානයෙන් පිදුම් ලැබුවා.
ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාව පරදා විස්සයි 20 තරගාවලියක් ජය ගත් පළමු අවස්ථාව මෙය වන අතර, ඕනෑම තරග රටාවකින් ඉන්දියාව පරදා ශ්‍රී ලංකාව තරගාවලියක් ජය ගනු ලැබුවේ වසර 13කට පසුවයි.
එමෙන්ම 2019 වසරෙන් පසුව ශ්‍රී ලංකාව විස්සයි 20 තරගාවලියක් ජය ගත් පළමු අවස්ථාව ද මෙයයි.
මෙම විස්සයි 20 තරගාවලි පරාජයට පෙර ඉන්දියාව අඛණ්ඩව විස්සයි 20 තරගාවලි 8ක් ජය ගැනීමට සමත්ව තිබීමද විශේෂත්වයක්.