වාහන ආනයනය ගැන රජය ගත් නවතම තීරණය

0
204

වාහන ආනයනය කිරීම මෙම වසරේදීත් තාවකාලිකව අත්හිටුවීමට රජය තීරණය කර තිබෙනවා. පවතින තත්ත්වය හමුවේ වාහන ආනයන කිරීමට පෙර රටට අත්‍යාවශ්‍ය බොහෝ දෑ ගෙන්වීමට තිබෙන බව රජය පවසයි.

කෙසේවෙතත් විද්‍යුත් මෝටර් රථ ආනයනය කිරීමට අවසර ලබාදීමට මේ වනවිට අවධානය යොමුවී තිබෙනවා. විද්‍යුත් වාහන මෙරටට ගෙන්වීම සඳහා ඉදිරි අයවැයේදී සහන ලබා දීමටයි රජය සැලසුම් කර ඇත්තේ.

මෙරට තුළ විද්‍යුත් වාහන භාවිතය ප්‍රවර්ධනය කිරීම සඳහා උපායමාර්ගික සැලැස්මක් සකස් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ඉකුත් දා හිමිවුණා.

මෙරට තුළ විද්‍යුත් මෝටර් රථ ප්‍රචලිත කිරීම රජයේ අරමුණ වී ඇති අතර ඊට අවශ්‍ය ආරෝපණ මධ්‍යස්ථානද රට පුරා ස්ථාපිත කිරීමට අවධානය යොමුව තිබෙනවා.

ඒ සඳහා ජර්මනියේ ආයෝජකයෙකු සමග සාකච්ඡා ආරම්භ කර ඇති බවද මුදල් අමාත්‍යාංශ ප්‍රකාශකයෙකු සඳහන් කළා.

මේ අතර රජය, වාහන ආනයනයට පනවා ඇති සීමා සම්බන්ධයෙන් අදහස් දක්වමින් වාහන ආනයනකරුවන්ගේ සංගමය සදහන් කළේ මෙම තත්ත්වයට ඩොලර් සංචිත හිඟවීම සහ කොරෝනා වසංගතයත් සමග මතුව ඇති ගැටළු ඊට හේතු වී ඇති බවයි.