තෙවැනි තරගයෙන් දසුන්ගේ පිලට ලකුණු 35ක ජයක්

0
165

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන ආරාධිත පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගයෙන් ජය වාර්තා කිරීමට SLC Greys කණ්ඩායම අද(14) සමත් වුණා.

මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් Greys ක්‍රීඩකයින් නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 8ක් දැවී ලකුණු 154ක් රැස් කළා.

නායක දසුන් ශානක පන්දු 38කින් ලකුණු 48 ක් රැස් කිරීමට සවිමත් විය. ඔහුගේ ඉනිමට හයේ පහර 2ක් සහ හතරේ පහර 5ක් ඇතුළත්.

කමිල් මිෂාර ලකුණු 18කටත්, පුලින තරංග ලකුණු 20කටත් දැවී ගිය අතර, ළහිරු මදුෂංක නොදැවී ලකුණු 16යි.

ප්‍රභාත් ජයසූරිය ලකුණු 29කට කඩුලු 2ක් ද, සීක්කුගේ ප්‍රසන්න ලකුණු 9කට කඩුලු 2ක් ද දවා ගැනීමට සමත් විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Reds කණ්ඩායමට පන්දුවාර 20 තුළ කඩුලු 9ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 119 පමණයි.

ඕෂද ප්‍රනාන්දු පන්දු 49කින් ලකුණු 52ක් ලබා ගත්තේ හයේ පහරක් හා හතරේ පහර 5ක් සමගිනි.

අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 6කටත්, නිපුන් ධනංජය ලකුණු 7කටත්, නායක දිනේෂ් චන්දිමාල් ලකුණු 6කටත් දැවී ගිය අතර අසේල ගුණරත්න ලකුණු 16ක් හා අකිල ධනංජය ලකුණු 12ක් රැස් කළා.

පන්දු යැවීමේ දී නුවන් ප්‍රදීප්, අශේන් ඩැනියල්, ළහිරු මදුෂංක කඩුලු 2 බැගින් බිද හෙලුවා.