හිමේෂ් සහ චන්දිමාල් Reds පිලට ජය ගෙනඑයි

0
153

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන ආරාධිත පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ 7 වන තරගයෙන් ජය වාර්තා කිරීමට SLC Reds කණ්ඩායම අද(18) සමත් වුණා.

ඒ, මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ පැවැති තරගයෙන් SLC Blues කණ්ඩායම කඩුලු 6කින් පරාජයට පත් කරමින්.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් Blues කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 146ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Reds කණ්ඩායම පන්දුවාර 19ක් අවසානයේ කඩුලු 4ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කිරීමට සමත් වුණා.

අඛන්ඩව සිය දෙවැනි අර්ධ ශතකය වාර්තා කළ නායක දිනේෂ් චන්දිමාල් ලකුණු 59(44)ක් රැස් කළේ හතරේ පහර 6ක් සමගින්.

ඕෂද ප්‍රනාන්දු ලකුණු 27ක් ලබා ගත් අතර, අසේල ගුණරත්න නොදැවී ලකුණු 23යි. චාමික කරුණාරත්න ද නොදැවී ලකුණු 16ක් රැස් කිරීමට සමත් වුණා.

පන්දු යැවීමේ දී මහීෂ් තීක්ෂණ, ඩිල්ෂාන් මදුෂංක, ප්‍රවීන් ජයවික්‍රම හා ළහිරු සමරකෝන් එක් කඩුල්ල බැගින් බිද හෙලුවා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් Blues ඉනිම ශක්තිමත් කළ ආරම්භක පිතිකරු ධනංජය ලක්ෂාන් ලකුණු 55(47)ක්, ළහිරු සමරකෝන් නොදැවී ලකුණු 35(21)ක් ලබා ගත් අතර නිපුන් මදුෂ්ක ලකුණු 25 ක් ලබා ගැනීමට සමත් වුණා.

සුපිරි පන්දු යැවීමක් ප්‍රදර්ශනය කළ හිමේෂ් රාමනායක පන්දුවාර 4 යවා නිමා කළේ ලකුණු 31කට කඩුලු 4ක් දවා ගනිමින්.