ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කල ආරාධිත විස්සයි 20 තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට දිනේෂ් චන්දිමාල් නායකත්වය දරන රෙඩ්ස් පිල සමත්විය.
ඒ අනුව 24 වැනිදා පැවැත්වෙන අවසන් මහ තරගයේදී දසුන් ශානක නායකත්වය දරන ග්‍රේස් පිලට එරෙහිව රෙඩ්ස් පිල තරග කරනු ඇත.
මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී ඊයේ(22) පැවැති 12 වැනි තරගයේදී අෂාන් ප්‍රියංජන් නායකත්වය දරන ග්‍රීන්ස් පිලට එරෙහිව කඩුලු 6 ක ජයක් හිමිකර ගැනීමට රෙඩ්ස් පිල සමත් විය.
ජයග්‍රහණය සඳහා ඕවර 15 කදී ලකුණු 115 ක ඉලක්කයක් හඹාගිය රෙඩ්ස් පිල ඕවර 14.3 කදී කඩුලු 4 ක් පමණක් දැවී ඉලක්කය පසුකර යෑමට සමත්විය.
ආරම්භක පිතිකරුවන් වූ අවිශ්ක ප්‍රනාන්දු සහ දිනේෂ් චන්දිමාල් පළමු කඩුල්ල සඳහා පන්දු 49 කදී ලකුණු 76 ක සම්බන්ධතාවයක් ගොඩනගමින් රෙඩ්ස් පිලට සාර්ථක ආරම්භයක් ලබාදීමට සමත් විය.
අවිශ්ක ප්‍රනාන්දු පන්දු 25 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 2 ක් සමගින් ලකුණු 38 ක් සහ දිනේෂ් චන්දිමාල් පන්දු 32 කදී හතරේ පහර 4 ක් සමගින් ලකුණු 40 ක් ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූහ.
ලක්ෂාන් සඳකැන් සිය ඕවර 3 ලකුණු 14 කට සීමාකරමින් කඩුලු 2 ක් දවාගැනීමට සමත්වුවද රෙඩ්ස් පිලේ ජයග්‍රහණය වලකාලීමට අපොහොසත් විය.
කාසියේ වාසිය දිනූ රෙඩ්ස් පිලේ නායක දිනේෂ් චන්දිමාල් පළමුව පන්දුවට පහරදීමට අෂාන් ප්‍රියංජන් නායකත්වය දරන ග්‍රීන්ස් පිලට ආරාධනා කළ අතර නියමිත ඕවර 15 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 114 ක් රැස්කිරීමට ඔවුන් සමත්වූහ.
වර්ෂාව හේතුවෙන් තරග ආරම්භවීම පමාවූ අතර එක් ඉනිමක් ඕවර 15 කට සීමාවිය.
සමින්ද ප්‍රනාන්දු පන්දු 36 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමගින් ලකුණු 37 ක් සහ පැතුම් නිස්සංක පන්දු 13 කදී හතරේ පහර 4 ක් සමගින් ලකුණු 22 ක් රැස් කලහ.
ප්‍රභාත් ජයසූරිය කඩුලු ලබා නොගත්තද සිය ඕවර 3 ලකුණු 15 කට සීමාකරමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.