ආරාධිත විස්සයි 20 ශූරතාවය අපරාජිත ග්‍රේස් කණ්ඩායමට

0
181

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කළ ආරාධිත පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ග්‍රේස් කණ්ඩායම ඊයේ(24) සමත් වුණා.

ඒ, දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වයෙන් යුත් රෙඩ්ස් කණ්ඩායම ලකුණු 42කින් පරාජයට පත් කරමින්.

මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ පැවැති අවසන් තරගය ජය ගැනීම සදහා රෙඩ්ස් කණ්ඩායමට ලකුණු 202ක ඉලක්කයක් හිමි වූ අතර ඔවුන්ට පන්දුවාර 19.4ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 159ක් පමණයි.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ග්‍රේස් ක්‍රීඩකයින් කඩුලු 4ක් දැවී ලකුණු 201ක් රැස් කිරීමට සමත් විය. මිනෝද් භානුක පන්දු 51කින් ලබා ගත් ලකුණු 74ක් ලබා ගත් අතර ඔහුගේ ඉනිමට හතරේ පහර 12ක් ඇතුළත් වුණා.

නායක දසුන් ශානක පන්දු 17කින් වේගවත් ලකුණු 48ක් ලබා ගත්තේ හයේ පහර හා හතරේ පහර 4 බැගින් එල්ල කරමින්.

නුවනිදු ප්‍රනාන්දු පන්දු 36කින් ලකුණු 47ක් රැස් කළ අතර පන්දු යැවීමේ දී අකිල ධනංජය කඩුලු 2ක් හා අසේල ගුණරත්න එක් කඩුල්ලක් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ රෙඩ්ස් කණ්ඩායම වෙනුවෙන් ඕෂද ප්‍රනාන්දු හයේ පහර හා හතරේ පහර 3 බැගින් එල්ල කරමින් ලකුණු 46(27)ක් රැස් කළා.

අසේල ගුණරත්න ලකුණු 22ක් හා අකිල ධනංජය නොදැවී ලකුණු 25ක් ලබා ගත් නමුත්, තරගය ජය ගැනීම සදහා එය කිසිසේත් ප්‍රමාණවත් වූයේ නැහැ.

පන්දු යැවීමේ දී නුවන් ප්‍රදීප්, මතීෂ පතිරණ හා පුලින තරංග කඩුලු 2 බැගින් බිද හෙලීමට සමත් විය.

ග්‍රේස් කණ්ඩායම මෙවර තරගාවලියේ දී කිසිදු තරගයක් පරාජයට පත් නොවී ශූරතාවය දිනා ගැනීම ද විශේෂත්වයක්.

ශුරතාවය දිනූ ග්‍රේස් කණ්ඩායමට රුපියල් මිලියන දෙකක ත්‍යාග මුදලක් හිමි වූ අතර, අනුශූරයින්ට හිමි වූ ත්‍යාග මුදල රුපියල් ලක්ෂ 15ක්.

තරඟාවලිය පුරා දස්කම් දැක්වූ ග්‍රේස් කණ්ඩායමේ නායක දසුන් ශානක තරඟාවලියේ වීරයා විය.