ජර්මනියේ ඩිලිවරි යන ඇෆ්ගන් හිටපු ඇමති

0
206

ජර්මනියේ ආහාර ඇණවුම් බෙදාහරින ආයතනයක සේවකයෙකු ලෙස ඇෆ්ගනිස්තානයේ රජයේ හිටපු අමාත්‍යවරයෙකු සේවය කිරීම පිළිබඳව පුවතක් විදෙස් මාධ්‍ය අනාවරණය කරයි.

තොරතුරු තාක්ෂණය සහ ටෙලිකොම් ක්ෂේත්‍ර සම්බන්ධයෙන් උපාධිධාරියෙකු වන 49 හැවිරිදි සයිඩ් සදාත් ඇෆ්ගනිස්තාන රජයේ සන්නිවේදන අමාත්‍යවරයා ලෙස වසර දෙකක කාලයක් කටයුතු කර තිබුණි.

2018 වසර දක්වා එම අමාත්‍ය ධූරයේ කටයුතු කළ ඔහු පසුගිය වසරේ ජර්මනියට ගොස් ඇත්තේ වඩා යහපත් ජීවිතයක් ගත කිරීමේ අරමුණින් බව වාර්තා වෙයි.

නමුත් ඔහුට ජර්මනියේදී සුදුසුකමට සරිලන රැකියාවක් සොයාගැනීම අපහසුවී තිබේ. ඊට ප්‍රධාන බාධකය වී ඇත්තේ ජර්මන් භාෂාව නොහැකි වීමයයි.

එහිදී ඔහුට ලීප්සිග් නගරයේ ආහාර ඇණවුම් බෙදාහරින ආයතනයක සේවකයෙකු ලෙස කටයුතු කිරීමට සිදුව ඇති අතර පාපැදියෙන් ගොස් පාරිභෝගිකයින් වෙත සේවා සැපයීම ඔහුගේ කාර්යය වී ඇත.

රටක අමාත්‍යවරයෙකුව සිටි තමන් සිදුකරන රැකියාව පිළිබඳව ඇතමුන් විවිධ ප්‍රකාශ සිදුකළ ද ඒ පිළිබඳව කිසිදු කනගාටුවක් නොමැති බව සයිඩ් සදාත් පැවසීය.