පහන්තුඩාව සිද්ධියේ යුවළට වැඩ වරදී

0
359

රත්නපුර දිස්ත්‍රික්කයේ බලංගොඩ බෙලිහුල්ඔය ප්‍රදේශයේ පිහිටි පහන්තුඩාව දියඇල්ල පසුබිම් කරගනිමින් අසභ්‍ය වීඩියෝ පටයක් නිර්මාණය කිරීමේ සිද්ධියට අදාළ තරුණයකු සහ තරුණියක අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමාජ ජාල අපරාධ සම්බන්ධ විමර්ශන අංශය විසින් මෙලෙස අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ මහරගම ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි තරුණයකු සහ ඇල්පිටිය ප්‍රදේශයේ පදිංචි විසි පස් හැවිරිදි තරුණියක බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු සඳහන් කළේය.

මෙම සැකකාර තරුණිය තාවකාලිකව පන්නිපිටිය ප්‍රදේශයේ නවාතැන්ගෙන සිට ඇති බවත් මොවුන් වෘත්තිය වශයෙන් මෙවැනි අසභ්‍ය වීඩියෝ නිර්මාණය කර ඇති බවට හෙළිවී ඇති බවත් එම නිලධාරියා පැවසීය.

අසභ්‍ය ප්‍රකාශන පනත ප්‍රකාරව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බව එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණේ දම්සක් පදනම නම් සංවිධානයක සභාපති පස්සරමුල්ලේ දයාවංශ හිමියන් විසිනි.

අසභ්‍ය වීඩියෝ දර්ශනය සහ අසභ්‍ය ඡායාරූප ෆේස්බුක්, වට්ස්ඇප්, ඉන්ස්ටර්ග්‍රෑම් හරහා සමාජ මාධ්‍ය තුළ ඉකුත් සතියේදී සංසරණය විය.