අවිශ්කගේ ශතකය ශ්‍රී ලංකාවට ජයගෙන එයි – ප්‍රසාද ලකුණු සටහනේ ස්ථාන 3කින් ඉදිරියට

0
271

සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ශ්‍රි ලංකා කණ්ඩායම අතර පැවති පළමු එක්දින තරඟය ලකුණු 14කින් ජය ගැනීමට ශ්‍රි ලංකා කණ්ඩායම ඊයේ(2) සමත් විය.

තරඟයේ කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.

ඒ අනුව, ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 9ක් දැවී ලකුණු 300ක් ලබා ගත්තේය.

ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 118ක් රැස්කළ අතර ධනංජය ද සිල්වා ලකුණු 44ක් රැස් කිරීමට සමත්විය. චරිත් අසලංක පන්දු 62කදී ලකුණු 72ක් රැස් කළේය.

පන්දු යැවීමේදී කේෂව් මහරාජ් සහ කගිසෝ රබාඩා කඩුලු 2ක් දවාගත් අතර ඒඩන් මාර්ක්‍රම්, සහ ටබ්රායිස් ෂම්සි එක් කඩුල්ලක් බැගින් දවාගත්තේය.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායමට පන්දුවාර 50 තුළ කඩුලු 6ක් දැවී රැස්කර ගැනීමට හැකිවූයේ ලකුණු 286ක් පමණි.

දකුණු අප්‍රිකානු කණ්ඩායම වෙනුවෙන් ඒඩන් මාක්‍රම් ලකුණු 96ක් රැස්කළ අතර රසී වෑන් ඩර් ඩුසන් ලකුණු 59ක් රැස්කළේය.

පන්දු යැවීමේදී අකිල ධනංජය කඩුලු 2ක් දවාගත් අතර ප්‍රවීන් ජයවික්‍රම, චාමික කරුණාරත්න සහ වනිඳු හසරංග එක් කඩුල්ල බැගින් දවා ගත්තේය.

ඒ අනුව තරඟ තුනකින් සමන්විත එක්දින තරඟාවලිය 1-0 ලෙස පෙරමුණ ගැනීමට සත්කාරක ශ්‍රි ලංකා කණ්ඩායම සමත් විය.

ඒ අනුව අයි.සී.සී ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීගයේ නවතම ප්‍රසාද ලකුණු සටහනට අනුව ශ්‍රී ලංකාව 8 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා.

මීට පෙර ශ්‍රී ලංකාව එහි රැදී සිටියේ 11 වන ස්ථානයේ යි.

මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම සුපර් ලීගය යටතේ තරග 13කට ක්‍රීඩා කර ඉන් තරග 3ක් ජය ගනිමින් හිමි කර ගෙන ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 32ක්.

ශ්‍රී ලංකාව තරග 9ක් පරාජයට පත්ව ඇති අතර, එක් තරගයක් ප්‍රතිපලයකින් තොරව අතහැර දැමුණා.

ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ එංගලන්තයට හිමිව ඇත්තේ තරග 15කදී ප්‍රසාද ලකුණු 95ක් හිමි කර ගනිමින්.

දකුණු අප්‍රිකාව එහි 11 වන ස්ථානයේ රැදී සිටිනවා.