ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු නායකයෙකු වන මහේල ජයවර්ධන ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ උපදේශකයෙකු ලෙස පත්කර තිබේ.
ලබන 17 වනදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී හා ඕමානයේ දී ආරම්භ වන මෙවර පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ දී ඔහු එලෙස උපදේශකයෙකු ලෙස කටයුතු කරනු ඇති.
මේ වන විට මහේල එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැදී සිටින්නේ අයි.පී.එල් තරගාවලියේ දී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ඔහු කටයුතු කරන බැවින්.
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය අවසන් වූ වහාම මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම සමග එරට දීම එක් වීමට නියමිතයි.
ඒ, ජෛව ආරක්ෂිත බුබුලකින් තවත් බුබුලකට හුවමාරු වීමේ ක්‍රමවේදය යටතේයි.
ඔහු ඔක්තෝබර් 16 වනදා සිට 23 වනදා දක්වා දින 7ක කාලයක් ශ්‍රී ලංකා කණ්ඩායම සමග රැදී සිටිනු ඇති.
එම කාලයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම නැමීබියාව, අයර්ලන්තය හා නෙදර්ලන්තය සමගින් තරග වැදීමට නියමිතයි.
මේ අතර, ශ්‍රී ලංකා වයස අවුරුද 19න් පහළ කණ්ඩායමේ උපදේශකයෙකු ලෙස ද මාස පහක කාලයක් සදහා මහේල ජයවර්ධන පත් කර තිබෙනවා.