LPL ඉතිහාසයේ හයේ පහර වරුසාව – අවිශ්ක 53(23) :තිසර 53(21)

0
148

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 7 වැනි තරගයේ දී හයේ පහර වරුසාවක අත්දැකීම ලබා ගැනීමට ප්‍රේක්ෂකයින්ට අද(8) අවස්ථාව උදා වුණා.

ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ අවිශ්ක ප්‍රනාන්දු හා තිසර පෙරේරා මෙම හයේ පහර සංදර්ශනය ප්‍රේක්ෂකයින්ට තිළිණ කළේ කැන්ඩි වොරියර්ස් කණ්ඩායමට එරෙහිවයි.

තරගයේ කාසියේ වාසිය දිනූ වොරියර්ස් පිල පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළ අතර ජැෆ්නා ඉනිමට තෙවැනි පන්දුවාරයේ දී වර්ෂාවෙන් බාධා එල්ල වුණා.

අනතුරුව තරගය තාවකාලිකව නතර කිරීමට සිදු වූ අතර, පසුව එක් ඉනිමක් පන්දුවාර 14කට සීමා කරමින් තරගය යළි ආරම්භ වුණා.

ජැෆ්නා කිංග්ස් ඉනිමේ තෙවැනි කඩුල්ල සදහා අවිශ්ක ප්‍රනාන්දු හා තිසර පෙරේරා පන්දු 33කින් ගොඩ නැගූ සබදතාවය ලකුණු 105ක්.

අවිශ්ක පන්දු 23කින් ලකුණු 53ක් ලබා ගත්තා. ඔහුගේ ඉනිමට දැවැන්ත හයේ පහර 7ක් ඇතුළත් වූ අතර, තිලකරන්න සම්පත් යොමු කළ පන්දුවාරයකට හයේ පහර 5ක් අඛණ්ඩව එල්ල කිරීමට ද අවිශ්ක සමත් වීම කැපී පෙනුණා.

තිසර පන්දු 21කින් ලකුණු 53ක් රැස් කළා. හයේ පහර 6ක් හා හතරේ පහර 2ක් එම ඉනිමට ඇතුළත්.

නියමිත පන්දුවාර 14 අවසානයේ දී කිංග්ස් කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 181ක් ලබා ගැනීම විශේෂත්වයක්.

මෙම තරඟය එල්ල කල 6 පහර 16 ඉතිහාසයට එක් වුණේ LPL ඉතිහාසයේ වැඩිම හයේ පහර සංඛ්‍යාවක් එල්ල කළ ඉනිම ලෙසයි.