චමරිගේ දෙවැනි අර්ධ ශතකය ශ්‍රී ලංකාවට ජය ගෙන එයි

0
73

පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියට සහභාගිව සිටින ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මූලික වටය යටතේ තරග වැදි දෙවැනි තරගයෙන් කඩුලු 9 ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට අද(20) පෙරවරුවේ සමත්විය.

එ් කෙන්යාවට එරෙහි තරගයෙනි. එ් සමඟින් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට ද හැකි විය.

ක්වාලලාම්පූර්හි කින්රාරා ඕවල් පිටියේ පැවැති මෙම තරගයේදී කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරාධනයෙන් පළමු පන්දුවට පහර දුන් කෙන්යානු පිල නියමිත පන්දුවාර 20 අවසනදී කඩුලු 6 කට ලකුණු 87 ක් ලබා ගැනීමට සමත්විය.

එය හඹා යෑමේදී පිටියට පිවිසි ශ්‍රී ලංකා පිල වෙනුවෙන් යළිත් සුපුරුදු ආරම්භයක් ලබා ගත් නායිකා චමරි අතපත්තු පන්දු 29 කදී වේගවත් ලකුණු 57 ක් ලබා ගනිමින් ජයග්‍රහණයට පෙරමුණ ගත්හ.

මෙම අර්ධ ශතකය චමරි මෙවර තරගාවලියේ පිට පිට ලබාගත් දෙවැනි අර්ධ ශතකය ලෙසින් සටහන් වූූ අතර එම ඉනිම හේතුවෙන් ඇය තරගයේ වීරවරිය සම්මානයෙන්ද පිදුම් ලැබීය.

මෙම දක්ෂතාව ප්‍රධාන කොට මෙතෙක් තරගාවලියේ ලකුණු 143 ක් ලබා වැඩිම ලකුණු රැස් කරන ලද පිතිකාරිණියන් අතර පෙරමුණ ගැනීමට චමරි සමත්ව සිටියි.

ඇය මෙම තරගයට ප්‍රථම ස්කොට්ලන්තයට එරෙහිව පැවැති තරගයේදී ලකුණු 86 ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා ජයග්‍රහණයට වැඩි දායකත්වයක් ලබා දුන්නාය.

හයේ පහර 3 ක් සහ හතරේ පහර 8 ක් ඇතුළත් වුණු චමරි අතපත්තු සමඟ සාර්ථක ආරම්භයක් ලබා දුන් විශ්මි ගුණරත්න පන්දු 26 කදී ලකුණු 26 ක් ලබා පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 83 ක් එක් කිරීමට දායකත්වය දැක්වූවාය.

කෙන්යානු පිල වෙනුවෙන් පන්දුවට පහර දීමේදී ආරම්භක පිතිකාරිණිය වූ කුවීන්ටර් අබෙල් ලකුණු 33 ක් සහ මැද පෙළින් පන්දුවට පහර දීමට පැමිණි සාරා වෙටොටෝ ලකුණු 29 ක් ලබා පිත්තෙන් කැපී පෙනුණහ.

පන්දු යැවීමේදී ඉනෝකා රණවීර, සචිනි නිසංසලා, කවිශා දිල්හාරි සහ නායිකා චමර් අතපත්තු එක් කඩුල්ල බැගින් බිඳ හෙලූහ.