රන් පදක්කම්ලාභී දිනේෂ්ට අගමැතිගෙන් නිවසක්

0
97

ටෝකියෝ නුවර පැවැති පැරාලිම්පික් 2020 තරඟාවලියේදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් නව ලෝක වාර්තාවක් සමඟ ශ්‍රී ලංකාවට රන් පදක්කමක් දිනා දුන් දිනේෂ් ප්‍රියන්ත හේරත් මහතා වෙත නව නිවසක් ලබාදීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතින් අද සිදුකෙරිණි.

තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ මැදිහත්වීමෙන් අග්‍රාමාත්‍යවරයා ලබා දුන් මෙම නව නිවසේ ප්‍රදාන පත්‍රය ඔහු වෙත ලබාදීම සිදුකෙරුණේ අරලියගහ මන්දිරයේදීය.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය යටතේ ඇති නාගරික සංවර්ධන අධිකාරිය සතු කොළඹ 02, කොම්පඤ්ඤ වීදියේ පිහිටි මෙට්රෝස හෝම්ස් නිවාස ව්‍යාපෘතියේ 40 ඒ 4/10 දරණ නිවස මෙලෙස නිදහස් දීමනාවක් ලෙස දිනේෂ් ප්‍රියන්ත හේරත් මහතාට ප්‍රදානය කෙරිණි.

මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේ පැරා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා එළිදැක්වීම සඳහා පවතින ඉඩ ප්‍රස්තාවන් පුළුල් කිරීම ප්‍රශංසනීය කරුණක් බවයි.