වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා අෆ්රිඩි – ක්‍රීඩිකාව මන්ධනා

0
76

2021 වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස පාකිස්තාන කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ශහීන් අෆ්රිඩිද, ක්‍රීඩිකාව ලෙස ඉන්දීය කණ්ඩායමේ ආරම්භක පිතිකාරිණී ස්ම්‍රිති මන්ධනා ද තෝරාගෙන ඇතැයි අන්තර් ජාතික ක්‍රිකට් සභාව අද (24) නිවේදනය කළේය.

ඒ අනුව ඉදිරියේදීපැවැත්වීමට නියමිත අන්තර් ජාතික ක්‍රිකට් සභාවේ වාර්ෂික ක්‍රිකට් සම්මාන රාත්‍රියේදී අෆ්රිඩිට ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස් සම්මානයද, මන්ධනාට රේචල් හේහෝ ෆිලින්ට් සමමානයද පිරිනැමීමට නියමිතය.

ගෙවී ගිය වසර තුළ ටෙස්ට්, එක්දින සහ විස්සයි-20 යන ආකෘති තුනේම ජාත්‍යන්තර තරග 36 කදී කඩුලු 78 ක් දවාගැනීමට අෆ්රිඩි සමත්ව ඇතිඅතර එහිසාමාන්‍යය 22.20 ක අගයක් ගනී. එහිදී ටෙස්ට් සහ විස්සයි-20 ආකෘති වලදී පාකිස්තාන කණ්ඩායම වෙනුවෙන් ඔහු දැක්වූ දක්ෂතාවන් ඉතා ඉහළ මට්ටමක පවතී.

ගෙවී ගිය වසර තුළ සියලුම ආකාරයේ ජාත්‍යන්තර තරග 22 කදී ශතකයක් සහ අර්ධ ශතක 5 ක් සමග ලකුණු 855 ක් රැස්කිරීමට මන්ධනා සමත් වූඅතර එහිදී ඇගේ ලකුණු රැස්කිරීමේ සාමානයය 38.86 ක අගයක් ගත්තේය.

මේ අතර වසරේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා බවට එංගලන්ත කණ්ඩායමේ නායක ජෝ රූට්ද, වසරේ එක්දින ක්‍රීඩකයා බවට පාකිස්තාන කණ්ඩායමේ නායක බාබර් අසාම්ද පත්ව ඇත. වසරේ එක්දින ක්‍රීඩිකාව බවට පත්ව ඇත්තේ දකුණුඅප්‍රිකාවේ ලිසෙලිලීය.

වසරේ විස්සයි-20 ක්‍රිකට් ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව ලෙස පාකිස්තානයේ මොහොමඩ් රිස්වාන් සහ එංගලන්තයේ ටැමී බියුමොන්ට් නම් කර ඇත.
සම්මාන ලාභී ක්‍රීඩක ක්‍රීඩිකාවෝ
■ වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා – ශහීන් අෆ්රිඩි (පාකිස්තානය)
■ වසරේ ක්‍රිකට් ක්‍රීඩිකාව – ස්මි්‍රති මන්ධනා (ඉන්දියාව)
■ වසරේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා – ජෝ රූට් (එංගලන්තය)
■ වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩකයා – බාබර් අසාම් (පාකිස්තානය)
■ වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩිකාව – ලිසෙලිලී (දකුණු අප්‍රිකාව)
■ වසරේ විස්සයි-20 ක්‍රිකට් ක්‍රීඩකයා – මොහොමඩ් රිස්වාන් (පාකිස්තානය)
■ වසරේ විස්සයි-20 ක්‍රිකට් ක්‍රීඩිකාව – ටැමී බියුමොන්ට් (එංගලන්තය)
■ වසරේ නැගී එන ක්‍රිකට් ක්‍රීඩකයා – යනෙමන් මලාන් (දකුණු අප්‍රිකාව)
■ වසරේ නැගී එන ක්‍රිකට් ක්‍රීඩිකාව – ෆාතිමා සානා (පාකිස්තානය)
■ ටෙස්ට් වරම් නොමැති රටවල් අතර වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා – සීෂාන් මක්සූද් (ඕමානය)
■ ටෙස්ට් වරම් නොමැති රටවල් අතර වසරේ ක්‍රිකට් ක්‍රීඩිකාව – ඇන්ඩි්‍රයා සෙපේඩා (ඔස්ටි්‍රයාව)

වසරේ විනිසුරුවරයා – මේරිස් එරැස්මස් (දකුණු අප්‍රිකාව)